Sunday, July 7, 2019

.
ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍ය මහා විද්‍යාලය යටියන්තොට




සබරගමුව පළාතේ, කෑගල්ල දිස්ත්‍රීක්කයේ, දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ, යටියන්තොට අධ්‍යාපන කොට්ඨාශයට අයත් කෑ/දෙහි ආචාර්ය ඇන්.ඇම් පෙරේරා මධ්‍ය මහා විද්‍යාලය සුන්දර කැළණි මිටියාවතේ පිහිටි විශිෂ්ටත්වය කරා දිනෙන් දින ඉහළ යන 1ABS වර්ගයට අයත් ජාතික පාසලකි. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණි දක්වා ඉගැන්වීම් කටයුතු කෙරෙන අතර උසස් පෙළ අංශය කලා, වාණිජ, විද්‍යා, ගණිත හා තාක්ෂණික යන සියළු අංශයන්ගෙන් සමන්විත වේ.

අද අපි අපේ පාසලේ ඉතිහාසය පිළිබදව දැනුවත් වෙමු...
1939 නොවැම්බර් මස 04 වෙනි දින සිසුන් පස්දෙනෙකුගෙන් සමන්විතව ශාන්ත මරියා පාසල ලෙස යටියන්තොට ශාන්ත මරිය දෙව් මැදුර අසල ඉඩමේ තිබූ ගොඩනැගිල්ලක යටියන්තොට මීසම භාරව කටයුතු කළ ඉතාලි ජාතික ගරු ජෝෂප් ජාකෝනෝ පියතුමන් විසින් මෙම පාසල ආරම්භ කරන ලදි.

පාසල භාරව කටයුතු කළේ ඒඩා ආනන්දප්පා මහත්මියයි. ප්‍රථම මුල් ගුරු වූයේ එම්.පෙරේරා මහතායි. වෙළෙ ව්‍යාපාරික ග්‍රේබ්‍රියල් ගෝමස් මහතා සිහිවීම පිණිස එම මහත්මිය විසින් විද්‍යාලයේ ගොඩනැගිල්ලක් සහා නගරය අසල බිම් කැබැල්ලක් පරිත්‍යාග කර ඇත. නිර්මාතෘවරයා හා එවකට ප්‍රාදේශීය කළමණාකාරතුමා වූ ගරු ජෝෂප් ජාකෝනෝ පියතුමන්ගේ ඇරයුම මත වතු අධිකාරී සාමවිනිසුරු එච්.ආර්.එලිස් මහතා විසින් 1942.03.20 දින යටියන්තොට ශාන්ත ග්‍රේබ්‍රියල් විද්‍යාලය නමින් නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කරන ලදි.
ආධාර ලබන විද්‍යාලයක් වූ මෙහි ප්‍රගතිය සහා ගරු. සී.යන්නකෝනි, ජේ.කියානිසි, සී.එම්.වෙකියෝති හා ජේ.බතාලියා යන ප්‍රාදේශීය කළමනාකාර පියවරුන්ගෙන් විශාල සේවයක් සිදුව ඇත. ආරම්භයේ සිට මේ දක්වා එම්.පෙරේරා, ආර්.එම් පෙරේරා, අයි සෙබසතියන් පිල්ලේ, ජේ.එන්.ඩී.එස්. ප්‍රනාන්දු, ජේ.පී.බී.ප්‍රනාන්දු, ප්‍රැට්ට්‍රික් ජේ වර්ණකුල, පී.ජේ.වර්ණකුල, පී.ජේ.ප්‍රනාන්දු, ආර්.ඒ.ජයවර්ධන, ඇන්.එෆ්.පැන්ක්‍රාස්, ඇම්.ජේ.ඇම්.මුත්තුපිල්ලේ, ජී.ජේ.ප්‍රනාන්දු, පී.ඩී.ඉසඩ් ඩයස්, ඒ.ජේ.වීරසිංහම්, ජේ.ප්‍රිම් රුද්‍රිගු, කේ.ඩී.බුද්ධිපාල, එස්.එම්.මුණසිංහ, අලවතුරේ ධම්මකිත්ති හිමි, ඩී.ජේ.බී. දන්ගල්ල හා ඩබ්.එම්. විජයවර්ධන, ඩී.ඒ.සී.සී. ගුණවර්ධන ජී.ඩබ්.එල්.සෝමසිරි, එම්.ඒ.ප්‍රේමවර්ධන හා වර්තමාන කේ.පී.ප්‍රසන්න පුෂ්පකුමාර යන මුල් ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සේවය ලැබී ඇත.
1951 වර්ෂයේ මෙම පාසල ජ්‍යෙෂ්ඨ ද්විතියික පාසලක් බවට පත් විය. 1959 වර්ෂයේ යටියන්තොට හාමන්ද වත්තේ පිහිට වූ යහපත් එඩේරාගේ කන්‍යාරාමයට ගෙන එනු ලැබූ ග්‍රේබියල් විද්‍යාලයීය බාලිකා අංශය සඳහා කළමණාකාර බතාලියා පියකුමාගේ ධෛර්යයෙන් ඉදි කෙරුණු වර්ග අඩි 4800 කින් යුක්ත වූ ගොඩනැගිල්ල (ටකරන් ශාලාව) 1959 සැප්තැම්බර් 04 දින විවෘත කර බාලිකාවන්ට මෙහි ඉගෙනීමෙහි පහසුකම් සපයා ඇත.
1960 දෙසැම්බර් මාසයේ පාසල අධ්‍යක්ෂ පාලිත පාසලක් බවට පත්ව ඇත. 1961 ඔක්තොම්බර් 15 වන දින රජයට පවරා ගන්නා ලදි. 1963 වර්ෂයේ පාසල් ප්‍රතිසංවිධානය කිරීමේදී නගරයේ පිහිටි ගොඩනැගිල්ලේ ජ්‍යෙෂ්ඨ අංශයද, හාමන්ද වත්තේ පිහිටි ගොඩනැගිල්ලේ කනිෂ්ඨ අංශයද පවත්වන ලදි.
1964 වර්ෂයේදී අ.පො.ස උසස්පෙළ විභාගය සඳහා සිසුන් ඉදිරිපත් කළ අතර දෙදෙනෙකු විශ්ව විද්‍යාල වරම් ලබා ඇත. 1964 වර්ෂයේදී ආදි ශීෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් ශාන්ත ග්‍රේබ්‍රියල් විද්‍යාලයීය රජත උත්සවයද පවත්වන ලදි. පාසල්වලට දේශීය නම් ලබා දීමේ වැඩසටහන යටතේ 1965 වර්ෂයේදී ආචාර්ය.ඇන්.ඇම්.පෙරේරා මහතාගේ අනුග්‍රහයෙන් මෙම විදුහල යටියන්තොට මහා විද්‍යාලය ලෙස නම් කර ඇත.
1967 වර්ෂයේදී මෙම විදුහලට අඩි 100 X 200 ක් වූ වර්ග අඩි 2000 ක පන්ති කාමර 5කින් යුත් ගොඩනැගිල්ලද, 1967 වර්ෂයේම අඩි 40 X 20 වූ වර්ග අඩි 800 ක සියවස පුස්තකාලය ද ලැබී ඇත. 1967 වර්ෂයේදී විද්‍යා අංශය හැර සෙසු පන්ති හාමන්ද වත්තේ ගොඩනැගිලිවලට ගෙන ගොස් ඇත.
1970 වර්ෂයේ පාසලට දායාද වූ අඩි 120 X 20 වූ වර්ග අඩි 2400 කින් යුක්ත වූ විද්‍යාගාරය හා ශාලාව ලැබීමෙන් පසුව 1971 වර්ෂයේ යටියන්තොට නගරයේ පන්ති පැවැත්වීම නවතා මෙහි පැවැත්වීම ආරම්භ කර ඇත.
1973 වර්ෂයේදී අඩි 50 X 20 වූ වර්ග අඩි 1000 කින් යුක්ත වූ වාණිජ විද්‍යා ඒකකය හා අඩි 60 X 20 වූ වර්ග අඩි 1200 කින් යුක්ත වාණිජ ශාලාව ලැබුණු අතර 1974 වර්ෂයේදී උසස්පෙළ වාණිජ පන්තිද ආරම්භ කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.වින්සන්ට් පෙරේරා මැතිතුමාගේ අනුග්‍රහයෙන් 1980-1981 වර්ෂයන්හි විමධ්‍යගත අයවැයෙන් හා අමාත්‍යාංශ ඉදිකිරීම යටතේ ලැබුණු අඩි 90 X 25  ගොඩනැගිලි දෙක යා කොට අඩි 185 X 25 යුක්ත වූ වර්ග අඩි 9000 ක් ඉඩකඩ ඇති පන්ති කාමර 16 කින් සමන්විත නව දෙමහල් ගොඩනැගිල්ල 1981 වර්ෂයේ ලැබුණු අතර වර්ග අඩි 1400 ක් වූ නව විද්‍යාගාරය ද, අඩි 20 X 20 වූ වර්ග අඩි 200 ක ආපන ශාලාවද, 1981/82 වර්ෂ සඳහා ලැබූ කාර්මික ඒකකයද හිටපු විදුහල්පතිවරයකු වූ ඩබ්ලිව්.එම්. විජේවර්ධන මහතාගේ අප්‍රතිහත ධෛර්යයෙන් ඉදි කර ඇත.
1983 වර්ෂයේදී විද්‍යාලයේ ශීෂ්‍ය සංඛ්‍යාව 1046 ක් ලෙසද ගුරු මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 39 ක් ලෙසද වාර්තා වී ඇත. කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 5කි.
1982 සැප්තැම්බර් 18 දා එවකට ගරු අගමැති හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සුරතින් මෙම විද්‍යලය යටියන්තොට මැතිවරණ කොට්ඨාශයේ ප්‍රථම මධ්‍ය මහා විද්‍යාලය ලෙසින් නම් කෙරිණ.
1986 මාර්තු මස 27 වෙනි දින සිට මෙම පාසල 1AB තත්වයට උසස් කෙරුණු අතර ඒ අනුව අ.පො.ස. උසස් පෙළ විද්‍යා විෂයයන්ද ආරම්භ කෙරිණ.
1995 වර්ෂයේ දී ප්‍රාථමික අංශය විද්‍යාලයට එක් කර ඇත. හිටපු ගරු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාගේ ඉල්ලීම පරිදි හිටපු ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමා විසින් 1996.04.29 දින ජාතික පාසලක් බවට පත් කරන ලදි. එතැන් සිට යටියන්තොට මධ්‍ය මහා විද්‍යාලය ලෙස පාසල නම් කෙරිණ.
2011.08.04 දින තවත් සුවිශේෂී වෙනසක් සිදු වෙමින් ප්‍රදේශයේ හා රටේ දියුණුවට විශාල සේවයක් කළ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මහතාගේ නාමයෙන් පාසල නම් කෙරිණ. ඒ අනුව පාසලේ නාමය ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) ලෙස නම් කෙරිණ.
2013 වර්ෂයේ ද්විතියීක පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ විද්‍යාලයේ සංවර්ධන කටයුතු ඇරඹි අතර ඒ අනුව 2013 වර්ෂය අවසාන වන විට විද්‍යාලයේ 1- 3 ශ්‍රේණි පාසලෙන් ඉවත්වීම සිදුවිය.
මේ අතර 2013 වර්ෂය වන විට විද්‍යා  අංශය නැවත ඇරඹි අතර තාක්ෂණික විෂය ධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණ අංශයද, ඉංජිනේරු තාක්ෂණ අංශයද ආරම්භ විය. ඒ සමගම පාසල 1ABS වර්ගයේ පාසලක් බවට පත් විය. තාක්ෂණික අංශයේ ආරම්භයත් සමග පාසලේ එවකට පැවති එක් ගොඩනැගිල්ලක් හා තවත් ගොඩනැගිල්ලක කොටසක් ඉවත් කිරීමට සිදු වූ අතර ඒ වෙනුවට මහල් දෙකකින් යුත් පරිගණක විද්‍යාගාරය, භාෂාගාරය, ගණිතාගාරය හා නැණස ඒකකය ඇතුළත් ගොඩනැගිල්ලක් සියළු පහසුකම් සහිතව විද්‍යාලයට දායාද විය. 2015 වර්ෂය අවසාන වන විට විද්‍යාල‍යේ ප්‍රාථමික අංශයේ සියළු පන්ති ඉවත්වීම සිදු විය.
ඒ අතරම තාක්ෂණික අංශය  සඳහා මහල් 3කින් යුත් සියළු පහසුකම් සහිත තාක්ෂණික විද්‍යා පීඨ ගොඩනැගිල්ල පාසලට දායාද විය. මේ සියළු පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් තාක්ෂණික අංශයේ අධ්‍යාපන කටයුතුවලින් කෑගල්ල දිස්ත්‍රික්කයේ හා මුළු දිවයිනේම ඉහළ ප්‍රතිඵල පෙන්වන පාසලක් බවට පත්වීමට හැකියාව ලැබී ඇත.
2019 වර්ෂය වන විට අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ සියළු ධාරාවන්ගෙන් ඉහළ ප්‍රතිඵල පෙන්වන, ක්‍රිඩා ඉසව් රැසකින් සමස්ත ලංකා මට්ටමේ ප්‍රතිඵල පෙන්වන  හා චිත්‍ර, නැටුම්, සංගීත යන සියළු කලා අංශවලින්ද ඉහළ දක්ෂතා පෙන්වන ප්‍රදේශයේ දිදුලන ජාතික පාසලක් බවට පත් වීමට හැකියාව ලැබී ඇත.

(මෙම ලිපිය සකස් කිරීමේදී විද්‍යාලයේ හිටුපු ආචාරිණි එස්.එම්.චිත්‍රා නන්දනී සම්පාය ගුරුතුමියගේ පර්යේෂණ නිබන්ධනයක් හා විද්‍යාලයේ විවිධ ලිඛිත මූලාශ්‍ර උපයෝගී කර ගන්නා ලදි.)

 - මනෝජ් ධනංජය ( ICT විෂය භාර ආචාර්ය)

No comments:

Post a Comment